Tuesday 8 April 2014

මහාචාර්ය නන්දසේන රත්නපාල






මැරෙන බව දැනගෙන ජීවත් වන මිනිසුන් අඩුය. උගතුන් යෑයි කියාගන්නා බොහෝ අය ද ජීවත් වන්නේ කිසිදා නොමැරෙන උජාරු මිනිසුන් ලෙසය. එහෙත් ඒ උගත්හු ඥානවන්තයන් මිස ප්‍රඥාවන්තයෝ නොවෙයි. ඥානවන්ත මිනිසුන් දහස්‌ ගණනින් බිහිවන සරසවියෙන් ප්‍රඥාවන්තයකු නිර්මාණ වන්නේ කලාතුරකිනි. ප්‍රඥාවන්තයා තම ලත් දැනුමින් තමාට මෙන්ම අනුන්ට ද වැඩදායක මෙහෙවරක්‌ කරමින් සතුටු වෙයි. තමන්ගේ අඹු දරුවන් පෝෂණය කිරීම තරමට තමාට ඉගැන්වූ මේ රටේ ජනතාවගේ ජීවිතය සම්බන්ධව තමාගෙන් යම් වැඩ කොටසක්‌ සිදු විය යුතු යෑයි තරයේ විශ්වාස කරයි. එම උතුම් විශ්වාසය අධිෂ්ඨානයක්‌ කරගෙන ජීවත් වෙයි. හැකි හැම විටම ඒ සඳහා කැපවෙයි.

අදින් තුන් වසරකට පෙර ජාතියෙන් සමුගත්තේ එබඳු විරල ගණයේ ප්‍රඥාවන්ත මිනිසකු ලෙස සම්මානිත මහාචාර්ය නන්දසේන රත්නපාලයන් මම දකිමි. එතුමා මානව හිතවාදී සහ විශ්වාන්තරවාදී විද්වත් මහාචාර්යවරයෙකු වූයේ ලබාගත් උපාධි හා ගරු සම්මානයන් නිසාම නොවේ. තමාගේ දැන උගත්කම් සමාජ දියුණුවට යොදා ඒ සඳහා අවංකවම කැපවීමෙනි.

නන්දසේන රත්නපාල මහාචාර්යතුමා මෙලොව උපත ලැබුයේ 1935 මැයි 09 වන වෙසක්‌ පුරපසළොස්‌වක පෝ දිනය. බණ්‌ඩාරවෙල කුරුකුදේ නමැති පිටිසර ගමේ පාසල එතුමාගේ මුල්ම පාසල විය. එහි නිර්මාතෘ සහ ආරම්භක විදුහල්පති වෙමින් ඌවේ පාසල් රැසක්‌ම ආරම්භ කළේ කීර්තිමත් විදුහල්පතිවරයකු වූ එතුමාගේ පියාණන් බව ප්‍රසිද්ධ කරුණකි. නන්දසේන රතනපාල පොත් කියෑවීම ආරම්භ කළ එම පාසලේ එතුමා පොත් සුරැකිව තබා ගත් ලී පෙට්‌ටිය අද ද දක්‌නට තිබීම විශේෂත්වයකි. අද එහි දක්‌නට ලැබෙන්නේ එතුමාගේ හිතවතුන් විසින් නවීකරණය කොට දියුණු කළ මහාචාර්ය නන්දසේන රත්නපාල අනුස්‌මරණ පුස්‌තකාලයයි. අතට හසුවුණ සෑම දෙයක්‌ම කියවීම කුඩා අවදියේ පටන්ම එතුමාගේ විනෝදාංශය වූ අතර පසු කලෙක පානදුරේ ශාන්ත ජොන් විදුහලේ සහ කොළඹ රාජකීය විදුහලේ පුස්‌තකාලවල හරි අඩකට වඩා පොත් කියවීමට නන්දසේන රත්නපාල තරුණ ගැටවරයාට හැකියාව ලැබිණි. එතුමාගේ කියෑවීම වඩාත් මුවහත් කළේ පේරාදෙණිය විශ්වවිද්‍යාල පුස්‌තකාලය බව නන්දසේන රත්නපාලයන් නිතරම පැවසූ අදහසකි. පේරාදෙණිය පුස්‌තකාලයට දණ ගසා වැඳීAමට මා කැමතියි" යන්න නිරතුරුවම රත්නපාලයන් කියූ අයුරු මට මතකය.

සියබස්‌ මතුර නම් තමාගේ මුල්ම කෘතියේ සිට "මනුෂ්‍ය ප්‍රේතයකුගේ කථාව" නම් අවසාන කෘතිය දක්‌වා පොත් 168 ක්‌ පමණ ලිවීමට එතුමෝ සමත් වූහ. එහෙත් රත්නපාල පොතේ උගතෙකු වූයේ නැත. පොතට සීමා වූ දැනුම ඉක්‌මවූ ප්‍රායෝගික මිනිසෙකු විය. ඒ නිසාම දැනුම සමාජයේ යහපතට යෙදීමට මුළු ජීවිතයම කැප කළේය. නන්දසේන රත්නපාල චරිතය සෙසු විශ්වවිද්‍යාල උගතුන් ගෙන් වෙන්ව වෙනස්‌වන ප්‍රධානම ලක්‍ෂණය එය යෑයි කිව හැකිය. කෙටියෙන් කියතොත් නන්දසේන රත්නපාල මහාචාර්යවරයා, වචනාර්ථයෙන්ම තම ජීවිතයෙන් මෙරට ජනතාවට යමක්‌ කළ යුතුය යන්න තරයේ විශ්වාස කර එය සිය ජීවිතයෙන් පෙන්වා දුන් උදාර ගුරුවරයෙකි. තම සතු දැන උගත්කම්, ඥානය සහ සමාජ සබඳතා සියල්ල එතුමා යෙදවුයේ තමාට හෝ තම පවුලේ උවමනාවන් ඉටුකර ගැනීමට වඩා තමාගේ උපකාරය පතා තමා හමුවට ආ නන්නාඳුනන පුද්ගලයන්ගේ සාධාරණ ඕනෑ එපාකම් ඉටුකර දීමට වීම විශේෂයකි. අගනුවර ඉංග්‍රීසි කතා කරන එක්‌තරා සුපිරි පැළැන්තියකට පමණක්‌ සීමා වී තිබූ සමාජ විද්‍යාව අද පොදු ජන සමාජයේ ජනප්‍රිය දැනුම් වේදයක්‌ වී ඇත්තේ එතුමාට පින් සිදුවන්නට ය. එතුමා මෙරටට හඳුන්වාදුන් අලුත් සමාජ විද්‍යා සම්ප්‍රදාය මුළුමනින්ම දේශීය අවශ්‍යතා සහ ආකල්ප පදනම් කර ගත්තක්‌ බව නොබියව කිය හැකිය. එදා එතුමාගේ සමාජ විද්‍යාව ශාස්‌ත්‍රීය නැතැයි කියූ අයට සිංහල රටට ගැලපෙන ශාස්‌ත්‍රීය සමාජ විද්‍යා සම්ප්‍රදාය ගොඩනගා ගැනීමට තවමත් හැකි වී නැත.

සමාජ විද්‍යාව තරමටම මානව විද්‍යාවත්, අපරාධ විද්‍යාවත්, පොදුජන අවශ්‍යතාවන් හා ගැළපෙන පරිදි අපේ විශ්වවිද්‍යාලවලට හඳුන්වා දීමට පුරෝගාමී වූයේ අන් කවරකුවත් නොව නන්දසේන රත්නපාල මහාචාර්යතුමා බව මුළු රටම දන්නා කරුණකි. එතුමා මෙරටේ නිර්මාණාත්මක සාහිත්‍යය වෙනුවෙන් කළ අපිරිමිත මෙහෙය ගැන බොහෝ දේ ලියවී ඇත. ඒ සියල්ලම අතරින් මතු වී එන්නේ එක අදහසකි. ලියන්නට හැකි අයෙක්‌ ලේඛකයෙකු කරන්නට හොඳ මිනිසෙකු උදාර මිනිසෙකු කරන්නට එතුමා කළ අපරිමිත කැපවීමයි. ඒ නිසාම බිහි වූ උදාර ගුරුවරු, මහාචාර්ය ආචාර්යවරු, ලේඛකයන්, කවීන්, කෙටිකථා, කරුවන්, නිමක්‌ නැත. එය නන්දසේන රත්නපාල මහතා ලැබූ සුවිශේෂී ජයග්‍රහනයකි. සිඟන්නන්, ගණිකාවන්, ගැටකපන්නන් මෙන්ම වීදි දරුවන් ද ඔවුන්ගේ සැබෑ ජීවිතය ද ඇසුරින් එතුමා කළ සමාජ පර්යේෂණ ගැන මුළු රටම දනී. එහෙත් ඒවා කරනු ලැබුවේ විදේශ රජ්‍ය නොවන සංවිධානවලින් මුදල් ලබා ගැනීමේ අරමුණින් නොවන බව දන්නෝ අල්ප විය හැක. බහුතරයකට නොතේරෙන බසකින්, පර්යේෂණ වාර්තා යෑයි කියමින් කුමක්‌ හෝ ලියා දිළිඳුකම ගැන පර්යේෂණය කරමින් ඇතැම් අය ධනවතුන් වෙද්දී, නන්දසේන රත්නපාල දිළින්දන් ගැන සොයන තරමටම මිනිසා දුප්පතෙක්‌ බවට පත් කරනු ලබන හේතු මුලිනුපුටා දමන්න යෑයි ද හඬ නගා පැවසූ සමාජ විද්‍යාඥයෙකි. "හිඟන්නකු" වූ එතුමා හිඟන සමාජයේ දී තමා අත්දුටු දෑ මුදලට විකිණීම නොකර හිඟනකම නැති කිරීමට ප්‍රායෝගික ක්‍රියාමාර්ගයක්‌ ගත් සමාජ විද්‍යාඥයෙකි. ගණිකාවන් දෙස පිළිකුලෙන් බැලීමට වඩා ගණිකාවන් නිර්මාණය කරන බලවේග සොයා දැන ගැනීම අවශ්‍ය බව හඬ ගා කිව් සමාජ විද්‍යාඥයෙකි.

අපේ රටේ ගණිකාවන් කොතරම් සිටිනවාද යන්නත්, ඔවුන්ගේ වැඩිවීම ඉදිරියේදී කොතරම් වනු ඇත්දැයි නිවැරදිව පුරෝකථනය කරමින් මේ මහා සමාජ උවදුර කල්තියා කරුණාවෙන් පෙන්වා දුන් සමාජ විද්‍යාඥයෙකි. පර්යේෂණය වැඩි දෙනෙකුට නොතේරෙන භාෂාවකින් සිදු නොකළ යුතු බවත්, පොදු ජනයාට තේරෙන සරල සිංහලයෙන් පර්යේෂණ ක්‍රමවේද ඉදිරිපත් කළ හැකි බවත් විශ්වාස කළ සමාජ විද්‍යාඥයෙකි. පර්යේෂණය මහා අපූරු විඡ්ජාවක්‌ ලෙස පෙන්වා මුදල් උපයන අයට එතුමාගේ "සමාජ විද්‍යා පර්යේෂණ මූලධර්ම" පොත මනුස්‌සකම රැකගෙන රටට සමාජයට වැඩක්‌ කරමින් පර්යේෂණය කරන හැටි උගන්වයි. අද සමාජ විද්‍යා පර්යේෂණ පිළිබඳව නවතම කෘති රැසක්‌ බිහිවි ඇත. එහෙත් අතිශයින් දිළිඳු සිංහල සමාජ විද්‍යා සාහිත්‍යයක්‌ මෙරටේ පැවති යුගයක නන්දසේන රත්නපාල මහතාගේ පුරෝගාමී මෙහෙවර අමතක කළ නොහැක.

නන්දසේන රත්නපාල මෙරට සමාජ සංවර්ධනයේ දීප්තීමත් යුග චරිතයක්‌ ලෙස දැන් ඉතිහාසයට එකතු වී අවසන් ය. එතුමා තුළ දයාබරිත අනුග්‍රහශීලීත්වය නිරාමිෂ ශාස්‌ත්‍ර දානය, අප්‍රතිහත කැපවීම පහසුවෙන් අමතක කළ නොහැකි අමරණීය මතක සටහන් ලෙස බොහෝ දෙනෙක්‌ තුළ ශේෂ වී ඇත. එබඳු තත්ත්වයන් දිනාගත හැකි මිනිසුන් අතිශයින් විරලය.

කෙසේ වුවද නන්දසේන රත්නපාල නම් වූ උදාර මිනිසා දැන් අප අතර නැත. එතුමාගේ අනපේක්‍ෂිත අභාවයෙන් ඇති වූ හිදැස පහසුවෙන් පිරවිය හැක්‌කක්‌ ද නොවන බව ඒ සමගම කිව යුතුය. සේවයට කැපවූ, දුක දරා ගනිමින් ඉදිරියට ගිය, සේවය කිරීමෙන් සතුටක්‌ ලැබූ නන්දසේන රත්තපාලයන්ට කරන විශිෂ්ට උපහාරය අපේ විශ්වවිද්‍යාලවලින් තව තවත් නන්දසේන රත්නපාල වැනි උදාර මිනිසුන් බිහි කිරීමට අවශ්‍ය පසුබිම සැකසීමය. මුදල්වලට මිල දී ගත නොහැකි සැබෑ මිනිසුන් නිර්මාණය කිරීමය. මෙරටේ පොදු ජනයාට ආදරය කරන බුද්ධිමතුන් ඇති කිරීමය. අපේ විශ්වවිද්‍යාලවලින් සැබෑ ලෙසට නන්දසේන රත්නපාලලා තවදුරටත් බිහි වෙයි ද? එය එසේ වේ නම් එයට වඩා උපහාරයක්‌ එතුමාට තවත් අවශ්‍ය නැත.
ආචාර්ය දයා අමරසේකර
පේරාදෙණිය විශ්වවිද්‍යාලය.  source- tharunayaweb.lk

0 comments:

Post a Comment