Saturday 8 March 2014

තීරණ ගන්න ඔබත් බයද?




ඇමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයෙක් වුණු රොනල්ඩ් රේගන් අවුරුදු 7ක 8ක පුංචි ළමයෙක් කාලෙදි ඔහුට සපත්තු දෙකක් හදාගන්න වුවමනා වෙලා තිබුණා. ඉතිං ඔහු මේ සඳහා සපත්තු නිෂ්පාදකවරයකු ළඟට ගියා. තමන්ගේ කකුලේ ප්‍රමාණයත්, සපත්තුව නිර්මාණය කළ යුතු හැඩරුවත් තෝරලා දීපු රොනල්ඩ් රේගන් කියන මේ දරුවා සපත්තු දෙක මසා නිම කරන්න කියලා නියම කරන ගමන් ආපසු එන්න හැරුණා. පියවර කීපයක් යද්දීම සපත්තු නිෂ්පාදනය කරන වෙළෙඳසල් හිමියා මේ දරුවට අත්පුඩියක් ගසා නැවත පැමිණෙන ලෙස සංඥා කළා.

'සපත්තුවේ මිම්මත් හරි, හදන්න කියපු මාදිලියත් හරි, ඒත් දරුවා ඔබ සපත්තුවේ අඩිය කොහොම වෙන්න ඕනද කියලා කිව්වේ නැහැනේ.'
'ඔයා ළඟ මොන වගේ අඩිද තියෙන්නේ?'
මේ පුංචි දරුවා වෙළෙඳසල් හිමියාගෙන් පෙරළා ප්‍රශ්න කළා.
'අපි ළඟ හතරැස් අඩියි රවුම් අඩියි දෙකම තියෙනවා.'

මඳ වේලාවක් කල්පනා කරපු රොනල්ඩ් රේගන් දරුවට ඒ වෙලාවේ තීරණයකට එන්න බැරි වුණා.
'මම ලබන සතියේ ඇවිත් කියන්නම්. ඉතිරි ටික හදලා තියන්න.'
සතියකට පස්සේ රොනල්ඩ් රේගන් නැවතත් සපත්තු හදන්නා මුණගැහෙන්න යනවා.
'මොකක්ද දාන්න ඕන අඩිය? ඉතිරි ටික නම් හදලා ඉවරයි දරුවා.'
'ඒක මට තවම තීරණය කරන්න බැරිවුණා. මම ආයේ සතියකින් එන්නම්කෝ.'

මෙහෙම කියාගෙන සාප්පුුවෙන් ආපු මේ දරුවා තුන්වැනි සතියෙත් සපත්තු වෙළෙන්දා සොයාගෙන යනවා.
'මම මේ මඟදිගටම බලබල ආවේ මොන විදියද කියලා හොඳ. අදත් මට හරි තීරණයකට එන්න බැරි වුණා. එන සතියේ අනිවාර්යයෙන්ම හොඳ විදියක් මම කියන්නම්.'
සිවුවැනි සතියේ රොනල්ඩ් රේගන් දරුවා සපත්තු සාදන්නා ළඟට ගියේ සපත්තුවට දාන්න ඕන අඩිය මොනවගේ වෙන්න ඕනද කියන තීරණයත් අරගෙන.
'නෑ.... දැන් ඔබ පරක්කු වැඩියි දරුවා. ඒ නිසා මම තීරණයක් ගත්තා. ඔබේ සපත්තු දෙකෙන් එකක අඩිය රවුමටත් අනික් සපත්තුවේ අඩිය හතරැස්වටත් සාදා නිම කරලා තියෙනවා.'

මේ කතාව ඇමෙරිකා එක්සත් ජනපදයේ විශ්වවිද්‍යාලවල තීරණ ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කරද්දී නිතර කියැවෙන කතාවක් බව මගේ මිත්‍රයෙක් කිව්වා. මේ කතාවෙන් කියැවෙන හරය තමයි තීරණයක් ගත යුතු තැන්වලදී ඔබ වහාම එම තීරණය නොගත්තොත් ඔබ වෙනුවෙන් අනෙක් අය ඒ තීරණය ගන්නවා. මේකටම ගැළපෙන සිංහල කතාවක් තියෙනවා. ඒක තමයි ඔබ ගතයුතු තීරණ නිසි වෙලාවට නොගත්තොත් ඒ තීරණය ඔබේ බිරිය ගන්නවා ඇති. ඔබේ බිරිය ගත යුතු තීරණ නිසි වෙලාවට නොගත්තොත් ඔබේ නැන්දම්මා ඒ තීරණය ගන්නවා ඇති. මේ ලෙස නැන්දම්මා තීරණ ගැනීම මුළු ගෙදරම පරිපාලනය අවුල් කරන්නට හේතු වෙනවා ඇති.
ආයතනවලටත් මේ තත්ත්වය එකසේම අදාළයි. ආයතනයක නායකයෙක්, සභාපතිවරයෙක් තමන් ගත යුතු තීරණ නිසි වෙලාවට නොගන්නවා නම් ඒ තීරණ ඔවුන්ට පහළින් සිටින විධායක නිලධාරීන් සහ කළමනාකරුවන් ගන්නවා.

ඒක ආයතනයක ප්‍රධානියකුට කිසි ලෙසකින්වත් ගැළපෙන්නේ නෑ. කළමනාකරුවකු ගත යුතු තීරණ ඔවුන් නොගෙන සිටියොත් විධායක නිලධාරීන් විසින් ඒ තීරණ ගනු ලබනවා. විධායක නිලධාරීන් ගතයුතු තීරණ නිසි වෙලාවට නොගත්තොත් පහළින් ඉන්න කම්කරුවන්, රියැදුරන් වැනි සේවකයන් ඒ තීරණ ගන්නවා. එය ආයතනයක කළමනාකාරිත්වය සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය කරන්න, අවුල් කරන්න හේතුවෙනවා. මේ නිසා අපි ආයතනික වශයෙන් වගේම පෞද්ගලික වශයෙනුත් සිහි තබා ගත යුතු වැදගත්ම දෙය තමයි 'ඔබ ගත යුතු තීරණ පමා නොකර ඔබම ගත යුතුයි' කියන කාරණය.
කළමනාකරණ විශේෂඥයන් තීරණ ගැනීමේදී අI ‍යයනය කළ යුතු කරුණු හතරක් පෙන්වාදී තිබෙනවා.

I - තීරණ ගැනීමේ අවශ්‍යතාව මොකක්ද?
I I - මේ තීරණයෙන් බලාපොරොත්තු වන ප්‍රතිඵලය මොනවගේ එකක්ද....?
I I I - මේ තීරණය ක්‍රියාත්මක කිරීමේදී අතරමඟදී මුහුණදීමට සිදුවිය හැකි අභියෝග මොනවද?
I V - ඒ අභියෝගවලට මුහුණදී සාර්ථකව තීරණය ජය ගන්නා ආකාරය.
මෙන්න මේ කරුණු හතර පිළිබඳ ඔබ දැනුවත් නම් හා යායුතු අවසන් ඉලක්කය සම්බන්ධයෙන් ඔබ දැනුවත් නම් තීරණ ගැනීම කිසි ලෙසකින්වත් කල් දැමිය යුතු නෑ. එතකොට තීරණයක් ගැනීමේ අනුපිළිවෙළ කුමක්ද....? ඒ පිළිබඳවත් ආර්ථික විශේෂඥයන් කරුණු දක්වා තිබෙනවා.
I - වැදගත් තීරණ මුලින්ම ගත යුතුයි.

I I - තරමක් වැදගත් තීරණ දෙවැනියට ගත යුතුයි.
I I I - වැදගත් නොවන තීරණ තෙවනුව ගත යුතුයි.
මේක තමයි තීරණ ගැනීම සම්බන්ධයෙන් පිළිගන්න අනුපිළිවෙළ. නමුත් මේ සියල්ලටම වඩා වැදගත් අවස්ථාවක් තීරණ ගැනීමේදී පෙන්වා දෙන්න පුළුවන්.
නායකයකුට වඩාත්ම අපහසු වන්නේ දුෂ්කර හා වේදනාකාරී තීරණ ගැනීම.

දුෂ්කර හා වේදනාකාරී තීරණ ගැනීම නිවෙසේ ප්‍රධානියා වන තාත්තා කෙනකු මුහුණ දෙන බරපතළ අභියෝගයක්. උදාහරණයක් විදියට තමන් අකැමැති විවාහයක් වෙනුවෙන් අනුමැතිය දීම හෝ නොදීම සම්බන්ධයෙන් පියෙකුට දුෂ්කර තීරණයකට එන්න සිදුවෙනවා. ආයතනයක් ඇතුළෙත් ආයතන ප්‍රධානීන්ට අපහසු වගේම වේදනාකාරී තීරණ ගන්න සිදුවෙනවා. උදාහරණයක් හැටියට ආයතනික වැටුප් කප්පාදුව කියන්නේ නායකයකු ගත යුතු හරි අමාරු තීරණයක්. ඊළඟට ආයතනයේ සේවකයන්ගේ වරප්‍රසාද කප්පාදුවත් දුෂ්කර තීරණයක්. උසස්වීමක් ලබාදීමේදී එක හා සමාන දක්‍ෂතා ඇති අය අතරින් එක් අයකු තෝරා ගැනීමත් අතිශය අසීරු තීරණයක්.
ඉතිහාසයේ දුෂ්කර හා අමාරු - තීරණ ගත්ත නායකයන් පිළිබඳ උදාහරණ කීපයක් තියෙනවා. එකක් තමයි එංගලන්ත අගමැති මාග්‍රට් තැචර් ඇගේ පාලන කාලය තුළ ආකර සේවකයන් සිදුකළ වැඩවර්ජනය අවස්ථාවේ එම වර්ජකයන් සමඟ සාකච්ඡා නොකිරීමට තීරණය කිරීම.

ඒ වගේම 1979 කාලේ ආර්ජන්ටිනාව පෝක්ලන්ත දූපත අල්ලාගත් වෙලාවේ තැචර් කිසිම පැකිළීමකින් තොරව ආර්ජන්ටිනාවට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කරලා පෝක්ලන්තය අල්ලගත්තා. ගැහැනියක් හැටියට ඇය තීරණ ගැනීමේදී පසුබට වුණේ නෑ. ඊළඟට අපේ රටෙන් උදාහරණ ගන්නවා නම් 2006 වගේ කාලෙදී ශ්‍රී ලංකා ආණ්ඩුව සාම සාකච්ඡා බිඳවැටී තිබුණ මොහොතක යුද්ධයෙන් මේ සටන පරාජය කළ යුතු බවට ගත් තීරණය. ඒ අමාරු තීරණය අවසානයේ ජයග්‍රහණය කරා ගියා. මේ තීරණ සම්බන්ධයෙන් කොයිතරම් විවේචන එල්ල වුණත් තීරණය ගත යුතු අවස්ථාවේ නොපැකිළව එම තීරණය ගැනීම ඉතාම වැදගත්. තීරණ ගැනීමට පසුබට නොවීම නායකයකු සතු උදාර ලක්‍ෂණයක්. ඒ තීරණයේ ප්‍රතිඵල බොහෝදුරට හොඳ වෙන්න පුළුවන්. ඒ වගේම නරක වෙන්නත් පුළුවන්. ඒත් වැදගත්ම දේ කල් නොයවා ගත යුතු තීරණය ගැනීම.

හැම කෙනකුටම වැටුප් වැඩිවීමක් අවශ්‍යයි. ඒත් අපි කවුරුවත් මහන්සිවී වැඩ කරන්න තීරණයක් අරගෙන නෑ. අපි හැම කෙනෙක්ම උසස්වීමකට කැමැතියි. ඒත් අසාමාන්‍ය නායකත්ව ලක්‍ෂණ ආයතනය තුළ පෙන්වන්න අපි තවම තීරණය කරලා නෑ. අපි තීරණයක් ගත්තොත් යන්න පුළුවන් දුර අනන්තයි අප්‍රමාණයි.




*පුවත් පතක් ඇසුරිනි

0 comments:

Post a Comment